මම ඉගෙන ගත්තේ කතෝලික පාසලක. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් හැම ජාතියකම ළමයි අපේ ඉස්කෝලෙට ආවා. අපේ හිත්වල කිසිම දිනක, පොඩි සිතිවිල්ලකින්වත් අපි එකිනෙකාට වෙනස්ය යන අදහස පහළ වෙලා නෑ. ජාතිවාදය කියන වචනයේ අරුතවත් අපි නොදන්නේ, එක බත් ගෙඩිය පොරකකා කාපු නිසා, හැම ගොං මගඩි වැඩක්ම එකතු වෙලා කරපු නිසා, හැම ආගමික උත්සවයක්ම එකතුවෙලා සමරපු නිසා. අපිට උගන්වපු ගුරුවරු අපේ සමගිය ගැන ආඩම්බර වුණා. තව තවත් සමගියෙන් වැඩ කරන්න ඉගැන්වූවා. ඔවුන්ගේ ඒ මග පෙන්වීම් අපිට ශක්තියක් වුණා. කවුරුහරි මේ ජාතිවාදයට පිළිතුරක් හොයනවා නම්, තමන්ගේ දරුවන් හැම ජාතියකම හා හැම ආගමක්ම අදහන මිනිස්සු ඉන්න තැනක හැදෙන්න මග සලස්වන්න. එතකොට මගේ ලෝකය වගේම එයාලාගේ ලෝකයත් ලස්සන තැනක් වෙයි.