Saturday, October 12, 2013

සමනල සංධවනිය මට ඇසුන හැටි..

විටෙක ඇසෙන විටෙක නොඇසෙන අහිංසක හැඟීමක් වටා ගෙතුනු ඉතා සංවේදී අමුතුම කතාවක් යැයි පැවසුවොත් මා නිවැරදිය. මෙම චීත්‍රපටය නරඹන විට මගේ සිතට නැගුණු හැඟීම් බොහෝය, කිමද මෙම කතාව අප කාගේත් ජීවිතයේ සිටින ව්ශේෂ, අපිට ලං විය නොහැකි වුවත් අමුතු බැඳීමක් ඇතැයි සිතෙන, අසාමාන්‍ය වූ නමුත් අතිපිවිතුරු, සුමිහිරි මතකයන් ගෙන එන, ඒ සුන්දර වූ හෘදස්පන්දනයයි. මෙය වචනයට හෝ සමාජයේ පිලිගත් මතිමතාන්තර වලට හෝ සීමා කල නොහැකි එකකි. වාධීශ නැමති චරිතයද එවැනි අත්දැකීමකට මුහුණ දෙන අහිංසක චරිතයකි.


ඔහුට පුණ්‍යා නම් වූ හැඟීම්බර කාන්තාවට ආදරයක් ඇතිවූවා යැයි පැවසිය නොහැක, කිමද එය පසූතැවීමක් වන්නටද පිලිවෙන නැතහොත් එය අහිංසක අනුකම්පාවක් වන්නටද පිලිවෙන. නැතහොත් මේ කරුණු දෙකම මුසුවුනු අසාමාන්‍ය හැඟීමක් වෙන්නටද පිලිවෙන. වාධීශ නම් වූ චරිතයේ දෛවය තිරණය වුයේ මේ විශේෂ හැඟීමෙන් ලැබුණු පන්නරය වන්නටද පිලිවෙන. ඔහුගේ බාල සිත ස්පර්ශ කල පුණ්‍යා තම ආදරවන්තයාට ලියූ ඒ ලියමනේ තිබූ වචන, ස්වභාවයෙන්ම කලාවට ලැදි ඔහුගේ හදමඩල වැලදගත්තා විය හැක. මවගේ ආදරය නොලැබුනු වාදීශ පුණ්‍යාගේ ලාලිත්වය වැලඳගත්තේ තම සිතේ ඇඳී තිබූ සහ හිස්ව ඇති ඒ ස්ත්‍රී චරිතයට පණ පෙවීමටද විය හැක.

මා අවබෝධ කර ගත් තවත් දෙයක් මේ කතාවේ අන්තර්ගත වේ. තම මල්ලීගේ හැඟීම් අවබෝධ කරගෙන, තම සහෝදරයාගේ යහපත උදෙසා කටයුතු කරන ආදරණීය අයියා කෙනෙක් මේ කතාවට පණ පොවන්නේ සහෝදරයෙක් වෙනුවෙන් සහෝදරයෙකුට කල හැකි බොහෝ දෑ අඟවමිනි. වාදීශගේ පියා, වාදීශගේ සංහීත රටා රස විඳින්නේ, ඔහුගේ ආදරය නැතහොත් වාදීශගේ මවගේ මතකයන් සිහිපත් කරමින් යැයි මට සිතේ, කිමද අනිත් දරුවන් දෙදෙනාම පොතට යොමු කොට, වාදීශගේ කන්කලු වාදනය නොසෙල්වී  සවන් දෙන්නේ අතීත මතකයන් සිහි කැඳවීමට විය හැක, කිමද වාදීශගේ අයියාද, වාදීශගේ සංගීත හැකියාව විටින් විට ආශිංසනය කරන්නේ, තම මව ඔහුට එමගින් මතක් වෙනවා කියමිනි.

පුණ්‍යාගේ චරිතය පිළිබඳ කතා කරනවා නම්, ඇය කවියට බර, අවන්ක, පොරොන්දු රකින ගුණවත් කාන්තාවක්. ඇය නොදැනුවත්වම වාදීශගේ ජීවිතයට සම්බන්ධ වූ වග අවසාන මොහොත වන තුරු ඇය නොදැන සිටියාය. නමුත් වාදීශ ඔහු සතුව තිබූ ඇය ඇයගේ පෙම්වතාට ලියූ ඒ ලියමන ඇයට දුන් විට, ඇය ඇසූ ඒ ප්‍රශ්නය ඉතා සාධාරණය. එනම් මේ ලිපිය නැවත ඇයට දීමට තීරණය කලේ කිමද කියා. මට වැටහුණු එක දෙයක් ඇත, එනම් ඔහුගේ හිතේ තිබූ හැඟීම් සියල්ල කලා නිර්මාණ වලට ඔහු පරිවර්තන කලේ මේ සබැඳියාව ඔහු තේරුම් ගැනීමට උත්සහ නොකල බැවිනි. ඔහු ඔහුගේ සියලු හැඟීම් කාලයාට බාර කලේ තමාගේ බිරිඳ සහ දරුවාට කල යුතු යුතුකම්ද අමතක කරමිනි.

ඔහුගේ නිහඬ බැඳීම අවුරුදු 21 කට පසු ඔහු ප්‍රකාශ කලේ මේ සියලු හීන වලින් මිදී නැවත සැබෑ ලෝකයට පැමිණීමට ඇති උවමනාව නිසාය. අවුරුදු 21 තිස්සේ ඔහුට මේ දේ කිරීමට නොහැකි වුයේ, මේ ලියමන ඔහු සතුව නොතිබුනු බැවිනි. නමුත් මා පෙර කියූ පරිදි, තමාගේ මල්ලීව තෙරුම් ගත් අයියා සතුව මේ ලියමන තිබුනේ ඔහුව මේ අමුතු ලෝකයෙන් ආරක්ෂා කිරීමටය. නමුත් එය එසේ සිදු නොවූයේ වාදීශ කුමන හෝ හේතුවක් නිසා එකිනෙකට සම්බන්ධ නොවූ කාරණා රැසක් තම ජීවිතයට උපුටාගත් බැවිනි. ඔහු මේ අත්දැකීම උපුටා තව තවත් ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ බිහිකරයි යැයි අපිට නිගමනය කල හැකිය. නැතහොත් ඔහුට අවශ්‍ය වූ දෑ ඔහු සපුරාගත් නිසා ඔහු නව ජීවිතයක් ආරම්භ කිරීමටද ඉඩ ඇත. ඒත් පුණ්‍යා, මෙතෙක් නොදැන සිටි දෙයක් දැනගත් නිසා ඉතා සන්සුන්ව තිබූ ඇගේ මනස නොසන්සුන් වූ වගක්ද වැටහිණි. 
මෙවන් අත්දැකීම වලට ජීවිතයේ අප සියලු දෙනාට මුහුණ පෑමට සිදුවේ, විටෙක මෙවන් දෑ අපේ ජීවිතයේ කොටසක් වෙයි. මෙයට අර්ථකතනයක් දීමට හෝ මෙහි සාදාරණත්වය ඔප්පු  කිරීමට අවශ්‍යතාවයක්ද නැතැයි මම සිතමි. නමුත් මෙය තව කෙනෙකුගේ ජීවිතයට ප්‍රශ්න ගෙන දෙන්නක් නම් එය අපි තවත් ජීවිතයකට කරන විශාල වරදකි. නමුත් මෙම කතාව සමනලයන්ගේ සංධවනියකි, අපේ ඇසට නොපෙනෙන, කනට නොඇසෙන සුන්දර සන්ධවනියකි. තීව්‍රතර භාවමය සංවාදයකි.

1 comment:

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews